ලෝකයේ ජනගහනයෙන් හරි අඩක්, එනම් බිලියන හතරක් දෙනාට ඇගේ කටහඬ හොඳට ම හුරුපුරුදුය. ලෝකයේ අංක එකේ කටහඬ ඇත්තේ ඇයටයි. ඇය කතා කරන්නේ ඉංග්‍රීසියෙන් වුවත් ඒ කටහඬ ඉංග්‍රීසියෙන් කතා කරන වෙන ඕනෑම කටහඬකට වඩා සුමිහිරිය. ඉංග්‍රීසි නොදන්නා අයකුට වුනත් ඒ හඬ පහසුවෙන් තේරුම් ගත හැකිය. ඇපල් ෆෝන්, අයි ෆෝන්, අයි පෑඩ් වැනි ස්මාට් ෆෝන් උපකරණ ආදිය පාවිච්චි කරන අය ‘සිරි‘ (SIRI) නමින් දන්නේ ද මේ හඬයි.
ඔබ ලෝකයේ කුමන රටක හිටියත් ඔබට ඔබේ ගමන නිවැරදි ව යාමට අවශ්‍ය මඟ කියා දීමට ඔබේ කැමැත්ත ඇතිව ඇය ඉදිරිපත් වෙයි. ඔබට තියෙන්නේ ඔබේ රියේ ඇති ගූගල් සිතියම සක්‍රිය කර යායුතු තැනට අවශ්‍ය ලිපිනය සලකුණු කිරීමයි. එතැන් සිට මුළු ගමන පුරා ම ඇය තත්පරෙන් තත්පරයට නිවරදිව කෙටි ම මගින් ඔබට අවශ්‍ය තැනට යන්නට උපදෙස් දෙයි. අතරමග රථ වාහන තදබදයක් ඇත් නම් ඒ බව කියා ඒවා මග අවශ්‍ය තැනට ගෙන යයි.
ලෝකයේ බොහෝ රටවල් වාහනයකින් ගමන් බිමන් යද්දී ගමන යන්නට ඇති කෙටි ම මග සොයා ගැනීමට දැන් ගූගල් සිතියම (Google Map) භාවිතයට ගන්නා බව නො රහසකි. නිවරදිව ගමනාන්තයට යෑමට ගූගල් සිතියම උදවු වෙන්නේ මග පෙන්වීම සඳහා උඩු ගුවනේ විශේෂයෙන් ස්ථානගත කළ චන්ද්‍රිකා පද්ධතියක් (Geo-Positional System) ද හවුල් කර ගනිමිනි. ඔබ Google GPS ක්‍රමය භාවිතා කරද්දී ‘අතනින් යන්න, මෙතැනින් හරවන්න, වමට හැරෙන්න, දකුණට හැරෙන්න ආදී වශයෙන් උපදෙස් ලැබෙන්නේ කාන්තා හඬකිනි.
මෙය පරිගණකයෙන් සකස් කළ කෘත්‍රිම බුද්ධි (ඒ.අයි.) හඬක් නොවෙයි. සැබෑ කාන්තාවකගේ හඬකි. GPS Girl යන නමින් ද හැඳින්වෙන ඇය ඇමෙරිකාවේ පදිංචියට ගිය ඕස්ට්‍රේලියානු රූපවාහිනී ඉදිරිපත් කරන්නියක් වන කැරන් ජේකොබ්සන්ය. ඕස්ට්‍රේලියානුවන් ඉංග්‍රීසි කතා කරන ආකාරය සෙසු ලෝකයේ සියලු දෙනා ඉංග්‍රීසි කතා කරන ආකාරයට වඩා ප්‍රසන්න යැයි පිළිගැනීමක් ඇත. GPS මඟ පෙන්වන්නිය ලෙස කැරන් ජේකොබ්සන්ගේ හඬ යොදා ගැනුනේ ඒ අනුවය.
කැරන් ජේකොබ්සන් ගී රචිකාවක්, ගායිකාවක්, හඬ නිළියක්, ප්‍රාසාංගිකාවක්, අභිප්‍රේරණ දේශන පවත්වන්නියක් ලෙසත් ප්‍රකටය.
කැරන් ජේකොබ්සන් උපන්නේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ මැකේ නගරයේයි. ඇය වයස අවුරුදු හතේදී පටන් ගීත ලියන්නට පටන් ගත්තාය. ඕස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් ව්ශ්ව විද්‍යාලයෙන් උපාධිය දිනා ගත් ඇය 1980 ගණන්වල දී ජෑස් සංගිතය හැදැරුවාය. ශාස්ත්‍රීය ගායනය හා පියානෝ වාදනය ඉගෙන ගත් ඇය වෘත්තීය ගායිකාවක වීමේ අදහසින් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූවාය. ඇය එහි දී රූපවාහිනි නිවේදිකාවක ලෙස ද කටයුතු කරන්නට අවස්ථාව ලැබුණි. කැරන් ඇමරිකාවට ආවේ ඔලිවියා නිව්ටන්-ජෝන් වැනි ගායිකාවක වෙන්නටය.
“ඇමරිකාවට ආවාම මට මුලින් ම ලැබුණේ ඇපල් උපාංගවල සිරි (SIRI) කියන චරිතයට පණ දෙන්නයි.“ කැරන් ඒ අත්දැකීම විස්තර කළාය. ඒ ඇලෙක්සා වැනි සහයට එන පරිගණක චරිතයක්. සිරි සඳහා කැරන් ඇරුනාම තවත් කීප දෙනකුගේ කටහඬ ඊට යොදා ගනු ලැබීය. අද ඇත්තේ ඒ හඬ ඇසුරු කර ගත් යාන්ත්‍රික හඬක්.
“මට ශබ්දාගාරයක හඬ ශිල්පිනියක් හැටියට රැකියාවක් ලැබුණා. මට වාක්‍යාංශ ලක්ෂ ගණනක් කියවන්නයි තිබුණේ. ඔවුන් ඉතා රහසිගතව කළ නිසා ඒ කුමකටදැයි මට දැන ගන්න ලැබුණේ නැහැ. මම දවසකට පැය හතරක් බැගින් පැය පනහක් ඔවුන් ලියා දුන් වගන්ති කොටස් කියෙව්වා. මගේ කට හඬ පරිස්සම් කර ගන්න ඕනෑවුණ නිසා දවසට වැඩ කළේ පැය හතරයි. මට ඔවුන් මගේ කටහඬෙන් කරන්න යන්නේ මොකක්දැයි මට හිතා ගන්නවත් බැරි වුණා“ කැරන් ඒ අමුතු අත්දැකීම විස්තර කළාය.
‘වසර කීපයකට පස්සේ මිතුරකු සමග වාහනයක යද්දී එයා කිව්වා, “ඔයා අපේ GPS එකේ ඉන්නවා“ කියලා. මට එක සක්‍රිය කරලා පෙන්නුවා. මම පුදුමයෙනුත් පුදුමයට පත් වුණා. පාර කියන GPS Girl මමයි කියලා දැන ගත්තේ එවේලෙයි.‘ කැරන් ජේකොබ්සන් තම අත්දැකීම විස්තර කළාය.
පරිගණකයේ දියුණුව ලොව පුරා බිලියන හතරක ජනතාව අතරට ගෙන කෙනකු හැටියට කැරන් ජේකොබ්සන්ව හඳුන්වන්න පුලුවන්. පොප් ගායිකාවක වෙන්න සිහින මවමින් ඇමෙරිකාවට ගිය ඇය ඒ සිහිනය සැබෑ කර ගන්නා අතරේ ඇයට අහම්බෙන් ලැබුණු අවස්ථාව නිසා ඇයට තවත් අතකින් ලෝක ප්‍රකට වන්නට අවස්ථාව සැලසුණේය. ඒ ඇයගේ රන්වන් කටහඬ නිසයි. ලොව පුරා රටවල වාහන පදවන ජනතාව අද නිවරදිව මග සොයා ගෙන යන්නේ ඇගේ රන්වන් කටහඬ ඔස්සේයි.
කැරන් ජේකොබ්සන්ගෙන් එයාගේ අත්දැකීම් අහන්න කැමති නම් පහත වීඩියෝව බලන්න
0 Comments